ඉස්සර මේ වැස්සට තෙමෙන්න මම ආසයි..
ඒ ඔයා මගේ ලඟින් තුරුල් වෙලා මගෙත් එක්ක ඇවිදන් යන සතුට වැඩිකමට.. ඒ කාලෙ එක පිට එක ධාරනිපාත වැහි සීයක් වැටුනත් මට ඒව මල් වැහි වගේ..
මතකද .. ඒ දවස් වල මම චුට්ටක් මුරන්ඩුයි. කතා කර කර යනගමන් හෙමීට කුඩෙන් පිටට පනිනව..
"ඇයි බබා තෙමෙන්නෙ ..ලෙඩ වෙන්නද ඕනා" ඔයා මට සැර වෙනව
"චුට්ටක් තෙමුනට ලෙඩ වෙන්නැහැ පැන්චො"
මම කියන්නෙ එහෙමයි..
"ඔන්න හෙම්බිරිස්සාවක් එහෙම හදා ගත්තොත් මම නෑ..මට එපා හොටු කෙල්ලො.."
ආඩම්බරෙට ඔයා එහෙම කියද්දි මූන පුලුටු කරන් මම ආයෙත් කුඩේ යටට එනව..
මතකද ඒ කාලෙ..හරිම සුන්දරයි.. ඔයාගෙ ඔයි තරු ඇස් වලින් මම ඒ කාලෙ ඒ විදියට කියෙව්වෙ අපේ අනගතේ..
අදත් දවසෙම වැස්ස.. වෙනදට ඔයත් එක්ක ඇවිදන් යන පාර දිගේ මම තනියම ඇවිදන් යනව.. මීට අවුරුදු දෙකකට කලින් අපි දෙන්න ඇවිදන් යද්දි වැටුන මල් වරුසාවම අදත් වැටෙනවා. මේ ගහ කොල ගොඩනැගිලි කලබලයෙන් හෙවනක් සොයාගෙන දුවන මිනිස්සු සත්තු මේ හැමදේමත් එදා වගේමයි.. එකම එක අඩුවයි තියෙන්නෙ ඒ වෙනද වගේම සීරුවට ඇවිදන් යන මාත් එක්ක මගේ තනියට මගේ කුඩේ යට ඔයා නැති එක විතරමයි..
දන්නවද ..එදා වගේ,මේ වැස්සට තෙමන්න මම දැන් ආස නැහැ..එදා වැස්සට තෙමිල මූන දිගේ රූරා වැටුන වැහි බින්දු ඔයාගෙ අත්ලෙන් පිහදාල මාව තුරුල් කරගන්නකොට දැනුන සතුට අද මට පපුව පුරා එක පාර පිපුරුන අකුණක් වගේ තදට දැනෙන වේදනාවක් විතරමයි.. එදා මගෙ ආදරේ කඩා වැටුන මේ ඇස් වලින් අද මේ වැටෙන්නෙ අතීතය දියවිලා වැටෙන කදුලු විතරමයි ..එදා වැහි බින්දු පිහාපු ඔයා මේ කදුලු බිදු පිහින්න අද හිටියනම් ....
අහන්න., එදා මම මේ වැස්සට ආදරේ කලේ ඔයත් එක්ක එක කුඩේ යට හැපි හැපි කියෝ කියෝ යන්න පුලුවන් නිසා.ඒත් ඔයා මන් ලඟ නැති අදත් මම මේ වැස්සට ආදරේ කරන්නෙ ඔයා නැතුව වේදනා දෙන මේ ඇස් වලට වැටෙන කදුලු වැහි පොද දිගේ නිදහසේ පාවෙලා යන හින්ද වෙන්න ඇති..
"මේ වහින්නේ එදා මල් වරුසාවමයි..මහලු නොවනා පෙම්වතුන්ගේ සොඳුරු මල් වරුසාවමයි.."