Pages

Monday, February 27, 2012

නුඹත් මමත්



හිතේ කොතනක පිපුනිදෝ නුඹ
මම නොදන්නා ඉසව්වේ..
ඇවිත් ඉඳ හිට හිත පුරාවෙම
සුවඳ දැනුනා සීරුවේ..

නමක් නැති ලෙන්ගතුකමක් ගෙන
මියුරු හැඟුමන් පිබිදුවේ..
අකීකරු හීනෙකින් දුටු නුඹ
මගේ පෙම් හිත හැඩ කලේ..

නුහුරු පාටක් සොයන්නට මා
රෑ දිවා කල් වෙහෙසුවේ..
පාට තැවරූ සුවඳ මල් ගෙන
නුඹ මගේ හිත සැරසුවේ..

මා හදේ ඇඳි පුරුදු සිතුවම
නුඹමදැයි සිත විමසුවේ..
වෙන කෙනෙක් නොව නුඹමයි ඒ
යලි යලිත් සිත පැවසුවේ..

හීන පොදි බැඳි මගේ මුලු හිත
ඉතින් නුඹගෙයි මතු දිනේ..
එකින් එක ගෙන හෙමින් කියවා
තනා දෙනවද ජීවිතේ..

Friday, February 24, 2012

නිදි නැති රැය



මලානික සඳ එළිය විසිරුන
යහන මත රූ රටා මවමින
ප්‍රේම සිතුවිලි සෙමින් දිගහැර
සිත රිදෙන පවසින් විඩාවින

ලබැඳි සෙනෙහස් සිත දරාගෙන
නෙතු පියන් තද කොට පියාගෙන
රැහයි නාදෙට කන් යොමාගෙන
පැය ගනන් නිදි නැතුව ලතවින

නොලද සැනසුම තවත් දිගු විට
ඔබෙන් ඇයදූ නේක හැඟුමන
යහන පාමුල බිඳි විසිරී
එකින් එක කඳුලින් ගිලී යන

නේක සැප සම්පතක් නැතුවට
හිතට නුඹ ඇති තුටින් ඉන්නට
තනි වූ යහනෙ නුඹ පතා මට
නොදේ ඉවසුම් අඳුරු රැයකට

ඉරි තැලී හිත තැලී පොඩි වී
හෙටත් අලුයම උදාවනවිට
කඳුලු පිසදා සිනාසෙන්නම්
ලබනු රිසියෙන් ඔබේ උනුහුම

සතුට ඉහිරී වැටෙන තුරු මට
සුසුම් උනුසුම අරන් පපුවට
තබා ඔය රුව මගේ හිත යට
විඳිමි මේ දුක ඉතිරි දෙමසට

Sunday, February 19, 2012

මට ආසයි !


ඉස්තරම්ම ආදරයක්
ඔබ දෝතට අරන් ඇවිත්
ආසයි මට රැඳී ඉන්න
නෙතු අතරේ ටික මොහොතක්..

පරිස්සමට මම ඇවිදින්
තුරුලු කරන් ආදරයෙන්
මට ආසයි 
කියා දෙන්න
හිත නිවනා පෙම් කවියක්..
ලස්සන නිල් ඇස් දෙකකින්
සලනා මුදු හැඟුම් බැලුම්
නොතේරුනා වගේ ඉදන්
ආසයි රිදවන්න ටිකක්..
මල් පෙති ඇතිරූ මෙලෙකට
ඔය දෙතොලේ පහස සොයන්
මට ආසයි සිප ගන්නට
පරිස්සමට එක මොහොතක්..
විකසිත පෙම් පොකුරු අරන්
ආදරෙයෙ සුවඳ ඔබන්
මට ආසයි ඒ මල් වල
ලියන්න ආදරෙ තරමක්..

Tuesday, February 7, 2012

සෙනෙහසේ පොරොන්දුව !


හිත ආලකම් පාන කිරි කෝඩු ආදරේ
හද ගැහෙන තාලයට වැයෙන විට ජීවීතේ
රෑ දිවා මතුවෙනා මදහාස සිහිනයේ
ලියවේවි කවි සඳැස් මේ ප්‍රථම ප්‍රේමයේ..

දිනපොතේ පිටු පුරා සැමරේවි ආදරේ
සඳ තරුත් සුපතාවි හිනහෙන්න ජීවිතේ
කුමුදු මල් සුවඳකින් දැවටිලා මදනලේ
රැඳෙමි රැකගමි සදා මහමෙරක් ආදරේ..

ඔබේ උණුහුම දිගේ සොයාවිත් ජීවිතේ
තැනූයෙමි මේ භවෙත් නවාතැන ඔය හදේ
සදාකල් රැකගන්න පුද දුන්නු ආදරේ
ලියුවෙමී රුහිරයෙන් පොරොන්දුව සෙනෙහසේ..

Wednesday, February 1, 2012

අම්මා..




පුර සඳන වී එළිය විදුලන
ඒ සඳින් මගෙ ලොවම හැඩවෙන
හිත සනාලන පින්බරම රුව
නුඹයි මගෙ අම්මේ..

ඉපිද මියයන තුරුම තුන් ලොව
මා පැතුව සෙනෙහසේ  ගුනකඳ
නුඹේ ගුන සුවදමයි
මගෙ අම්මේ..

නුඹේ ඇකයේ හිස හොවාගෙන
නිදන විට නෙත් දෙක පියාගෙන
අදත් දැනුනේ එදා කිරි සුවඳමයි
මගෙ  අම්මේ..

හිතට දිරි ගෙන හෙට සොයන්නට
අතිර ලොව තුල නොසැලි ඉන්නට
මගේ පසුපස එකම දිරියයි
ඒ නුඹයි අම්මේ..

ලොවක් එරෙහිව නැගී සිටියත්
පන දෙවනි වී මාව රැක ලූ
දෙව්ලොවින් බට දෙවඟනකි
නුඹ මගේ අම්මේ..

මගේ සිත් දෙවොලේ තබාගෙන
සදාකල්හිම නුඹව අදහන
නුඹේ සදාදර සුදු දෝණි
මමයි අම්මේ..

Wednesday, January 18, 2012

නිලුපුල් වලට මා ණය නැති



මේ විසල් අහස යට කොහේ හෝ දෙතැනක ඔබත් මමත් ඇති..ඔය දෑතේ පැටලීගෙන මම නොසිටියත් කොහේ හෝ තැනක ඔයා  ඔයාගෙ ජීවිතේ සොයනව ඇති.. ඉස්සර වගේම නිම්නැතිව ඔයාට ආදරේ කරන ඔයාගෙ සදාදර පෙම්වතිය වෙලා තවමත් මම ඔයාගෙ ලඟින්ම ඉන්නව කියල සමහරවිට ඔයා නොදන්නව ඇති..

මට මතකයි දවසක් ඔයා කිව්ව ඔයා දැකපු ලස්සනම ඇස් දෙක මගේලු..මේ ඇස් දිහා බලන් ඉද්දි ඔයා කවියෙක්ලු..ඒ තරම්  සුන්දරයි ලු ..ඊට පහුවදා  සුදු පාට කොලේක ඔයාගෙ දිගටි අකුරු වලින් ලියපු කවි පේලි කීපය කියවල මේ ඇස් වල කඳුලු බොඳවුනේ දුකට නෙමේ සතුටට.. “ඇත්තටම ඔයා මෙච්චරම ආදරයිද මට ?”මම මගෙන්ම ඇහුව වාර අනන්තයි.. ඒ මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම පෙම්වතිය මම බව එදා මට දැනුනු නිසා.. ඒ අතීතය මතක් වෙද්දි තාමත් හිතට ලෝබයි... හිත රිදෙනව තමයි ඒත්  පපුවට දැනෙන ඒ ඔයාගෙයි මගෙයි ආදරේ මතක් වෙද්දි මේ අතීතෙ සැරිසරන්න පුදුමාකාර ලෝබකමක් දැනෙනවා..

අහසට දුක හිතුනම අහස හඬනවා..හීනියට වහින පොද වැස්සක ඉඳල මහා මුරුගුසන් වරුසාවක්  වෙන තුරුම අහස හඬනව..ඒත් ඒ අහස තරම් නිදහසෙ  හඩන්නවත් මම පින් කරල නැහැ.. ලතැවිලි ඔක්කොම හිතේ දරාගෙන මම නිහඬවම දුක් ගන්නවා...පන්සලක් වගේ  නිස්කලංක හිතක් කුනාටුවක් වගේ සැඩට අපිලිවෙල වෙද්දි කඳුලු සඟවන්න උත්සහ ගන්නවා....ඔයා ආදරේ කල.. කවි ලියපු.. ඒ නිල්පාට ඇස් දෙක කඳුලු හිර කරන් වැලපෙනවා..

ඇත්ත.. මේ ඇස් රතු කරන් හඬල වැලපිලා මම  කොහොමද ඔයාට දුකක් දෙන්නෙ..ඒ නිසා මම කඳුලු සැඟෙව්ව තමයි..මම සතුටින් කියල ලෝකෙට පේන්න හිනා වුනා තමයි. සත්තකින්ම හැඟීමක් දැනීමක් නැති කලු ගලක් වගේ මම උන්නා තමයි..ඒත්  කොයි තරම්ද එකම එක මොහොතක් විතරයි මට එහෙම ඉන්න පුලුවන් වුනේ .. සමාවෙන්න ආයෙත් මගේ ඇස් වල කඳුලු දියවෙලා..

මටත් හොරෙන්ම මේ දඩබ්බර ඇස් වලින් කඳුලු වැටුනා..ඇත්තමයි එදා මේ ඇස් දෙකට ඔයා පැරදුනා වගේම මමත් අද පැරදුනා..මටම කීකරු නැති මගේ ඇස් මට හිතුවක්කර වෙලා කදුලු එක්ක තරඟ කරද්දි., අහින්සක මම දුක් විදින ඇස් එක්ක පෙරළි පාලා හොඳටෝම වෙහෙස වුනා විතරයි..

මම දවල් රෑ නැතුව මග බලන් හිටියා.. මේ ඇස් රිදෙනකල් ඔයා ගැන හිත හිත ඔයා එනකල් මග බලන් හිටියා.... එහෙම  ලතැවන මේ හිත සීමාවක් නැතිව තවත් දුක් ගන්නව..මේ ඇස් වලට තවත් කඳුලු ගන්නව..

ඉතින් ඔයාට තේරෙනව නේද එදා ඔයා කවි ලියපු ඒ නිලුපුල් ඇස් දැන් මං ලඟ නැහැ..ඒ ඇස් රතු වෙලා..නිල් පාට සේදිල ගියා.. ඉතින් කොහොමද ඔයා තව දුරටත් කවියෙක් වෙන්නෙ.. ඔයා කොහොමද කවි ලියන්නෙ.. ඔයාට කවි ලියන්න සුන්දර බවක්  ඒ ඇස්  ලඟ දැන් නැහැ..ඔයාම නේද ඒ  ඇස් දෙක උදුරගත්තෙ මගෙන්..ඔයාට ඕනමනම් තව එකම එක කවියක් ලියන්න මම අවසර දෙන්නම් හැබැයි ඒ මේ නිලුපුල් වලට ණය වුන ඔයා දකින ඇස් ගැන නෙමෙයි ඔයා වෙනුවෙන් අලුතින් කඳුලු වගුරන මගේ මේ ඇස් දෙක ගැන..මගේම ඇස් දෙක ගැන.. ..




"මේ අලුත් කඳුලු ඔබටමයි..ඔබෙ කවි වලට ගන්නට හැකි.."

Tuesday, January 17, 2012

මට නැති හිත


හිත වටකර
කොටු කරන්න
බැරි හින්දා මට
වාරු නැති මගේ හිත
උකසට දුන්නෙ ඔබට
නාහම අයිතිකරගනිද්දි
සින්නකරේට
කොහොමද කියල දෙන්නෙ
සන්තකේම එච්චරයි මට
මටම මම නැතිව
හූල්ලන මේ ජීවිතේට
ඇයි ඉතිං වද දෙන්නෙ
ආදරෙත් ඉල්ලල තව..