Pages

Wednesday, March 14, 2012

සමු දුන් පෙම්වතිය..


එකෝමත් එක දවසක
ඔයාගෙ නිල් පාට ඇස් දෙක
කාටත් හොරා මට රහසක් කිව්වා
ඒ රහස පරිස්සමට හිත කොනක තියාගෙන
නොදන්න ගානට
මම ඔයාට ගොඩාරියක් රිදෙව්ව
ඒ ආදරේ නැති කමට නෙමෙයි
ආදරේ වැඩිකමට
ඔය හිනාවෙන ඇස් දිහා
කාටත් හොරෙන් මම
පැය ගනන් බලන් හිටියා
හිතට දැනුනෙ පුදුමාකාර ලෝබකමක්
මම දස දහස් වර හිතුවා
අනේ ..
ඔයා මගේ වෙනවනම් කියල
ආත්ම ගානක බැඳීමක් 
එදා ඔය ඇස් වල ලියවිලා තිබුන
ඔව් මම කියෙව්ව
ඔය ඇස් දෙකේ ලියල තිබුන හැම දෙයක්ම
හරිම පරිස්සමට මම කියෙව්වා
ඔයා වගේම මමත් දැනන් උන්න
අපේ හිත් අයිති අපිටමයි කියල
සත්තයිමේ හිරිමල් හිත
නැලවුනේ ඔයාගෙ ඔය තරු ඇස් දෙක ලඟ
දාල යන්න බැරි තරමට
මම මටම ආදරේ කරන්න ගත්තෙ
ඔය ඇස් දෙකෙන් කඩා වැටෙන ඒ ආදරේ නිසා
ඒත් රත්තරං මම දැනන් උන්න
මට මේ ලෝකෙට අයිතිවාසිකම් කියන්න
දැන් කාලයක් නැති තරම් වග
කොහොමද මම කියන්නෙ
ඔයා මට ආදරේ කරන්න ගත්තු දවසෙ ඉඳල
ඔයා මට ආදරේ කරපු තරමටම
ඊටත් වැඩියෙන්
මරණය මම ලුහුබඳින වග
මගේ හිත ගොඩාරියක් අසරණයි
මටවත් මම හිමි නැතිව
කොහොමද මම ඔයාට හිමිවෙන්නෙ
මටවත් නැති මගේ  ජීවිතේ
කොහොමද මම ඔයාට දෙන්නෙ
රෑ දිවා නැතිව මම ලතැවුනා
ඒකයි මේ හිතුවක්කරකම..
මම තවත් ගොඩාරියක් රිදවලා
ඔයාට නොකියම ගොඩාක් දුර ගියා
කැමැත්තෙන් නොවුනත්
අකමැත්තෙන් වුනත් යන්න වුනා
ඒත්..
අදටත් රෑට අහස කොනක
පුන්චි තරු කැටයක් වෙලා
මම ඔය ඇස් දෙක කියවන්නෙ
ඔයා පිච්චෙන ගින්දර මට තාමත් දැනෙන නිසා
අනේ මට පුලුවන් වුනානම්
එකම එක පාරක් ඔයා ලඟට ඇවිත්
කියාගන්න බැරි වුන ආදරේ කියන්න
ඔය පපුව බදාගෙන අඬන්න..
වෙනද වගේ ඔයාට හොරෙන් 
ඔය ඇස් දෙක කියවන්න..
කොච්චර මම වාසනාවන්තද?

ප/ලි:මේක ලියන්න විශේශ හේතුවක් නම් නැහැ.. පින්තූරය නිසා ලියන්න හිතුනෙ..