Pages

Wednesday, January 18, 2012

නිලුපුල් වලට මා ණය නැති



මේ විසල් අහස යට කොහේ හෝ දෙතැනක ඔබත් මමත් ඇති..ඔය දෑතේ පැටලීගෙන මම නොසිටියත් කොහේ හෝ තැනක ඔයා  ඔයාගෙ ජීවිතේ සොයනව ඇති.. ඉස්සර වගේම නිම්නැතිව ඔයාට ආදරේ කරන ඔයාගෙ සදාදර පෙම්වතිය වෙලා තවමත් මම ඔයාගෙ ලඟින්ම ඉන්නව කියල සමහරවිට ඔයා නොදන්නව ඇති..

මට මතකයි දවසක් ඔයා කිව්ව ඔයා දැකපු ලස්සනම ඇස් දෙක මගේලු..මේ ඇස් දිහා බලන් ඉද්දි ඔයා කවියෙක්ලු..ඒ තරම්  සුන්දරයි ලු ..ඊට පහුවදා  සුදු පාට කොලේක ඔයාගෙ දිගටි අකුරු වලින් ලියපු කවි පේලි කීපය කියවල මේ ඇස් වල කඳුලු බොඳවුනේ දුකට නෙමේ සතුටට.. ඇත්තටම ඔයා මෙච්චරම ආදරයිද මට ?”මම මගෙන්ම ඇහුව වාර අනන්තයි.. ඒ මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම පෙම්වතිය මම බව එදා මට දැනුනු නිසා.. ඒ අතීතය මතක් වෙද්දි තාමත් හිතට ලෝබයි... හිත රිදෙනව තමයි ඒත්  පපුවට දැනෙන ඒ ඔයාගෙයි මගෙයි ආදරේ මතක් වෙද්දි මේ අතීතෙ සැරිසරන්න පුදුමාකාර ලෝබකමක් දැනෙනවා..

අහසට දුක හිතුනම අහස හඬනවා..හීනියට වහින පොද වැස්සක ඉඳල මහා මුරුගුසන් වරුසාවක්  වෙන තුරුම අහස හඬනව..ඒත් ඒ අහස තරම් නිදහසෙ  හඩන්නවත් මම පින් කරල නැහැ.. ලතැවිලි ඔක්කොම හිතේ දරාගෙන මම නිහඬවම දුක් ගන්නවා...පන්සලක් වගේ  නිස්කලංක හිතක් කුනාටුවක් වගේ සැඩට අපිලිවෙල වෙද්දි කඳුලු සඟවන්න උත්සහ ගන්නවා....ඔයා ආදරේ කල.. කවි ලියපු.. ඒ නිල්පාට ඇස් දෙක කඳුලු හිර කරන් වැලපෙනවා..

ඇත්ත.. මේ ඇස් රතු කරන් හඬල වැලපිලා මම  කොහොමද ඔයාට දුකක් දෙන්නෙ..ඒ නිසා මම කඳුලු සැඟෙව්ව තමයි..මම සතුටින් කියල ලෝකෙට පේන්න හිනා වුනා තමයි. සත්තකින්ම හැඟීමක් දැනීමක් නැති කලු ගලක් වගේ මම උන්නා තමයි..ඒත්  කොයි තරම්ද එකම එක මොහොතක් විතරයි මට එහෙම ඉන්න පුලුවන් වුනේ .. සමාවෙන්න ආයෙත් මගේ ඇස් වල කඳුලු දියවෙලා..

මටත් හොරෙන්ම මේ දඩබ්බර ඇස් වලින් කඳුලු වැටුනා..ඇත්තමයි එදා මේ ඇස් දෙකට ඔයා පැරදුනා වගේම මමත් අද පැරදුනා..මටම කීකරු නැති මගේ ඇස් මට හිතුවක්කර වෙලා කදුලු එක්ක තරඟ කරද්දි., අහින්සක මම දුක් විදින ඇස් එක්ක පෙරළි පාලා හොඳටෝම වෙහෙස වුනා විතරයි..

මම දවල් රෑ නැතුව මග බලන් හිටියා.. මේ ඇස් රිදෙනකල් ඔයා ගැන හිත හිත ඔයා එනකල් මග බලන් හිටියා.... එහෙම  ලතැවන මේ හිත සීමාවක් නැතිව තවත් දුක් ගන්නව..මේ ඇස් වලට තවත් කඳුලු ගන්නව..

ඉතින් ඔයාට තේරෙනව නේද එදා ඔයා කවි ලියපු ඒ නිලුපුල් ඇස් දැන් මං ලඟ නැහැ..ඒ ඇස් රතු වෙලා..නිල් පාට සේදිල ගියා.. ඉතින් කොහොමද ඔයා තව දුරටත් කවියෙක් වෙන්නෙ.. ඔයා කොහොමද කවි ලියන්නෙ.. ඔයාට කවි ලියන්න සුන්දර බවක්  ඒ ඇස්  ලඟ දැන් නැහැ..ඔයාම නේද ඒ  ඇස් දෙක උදුරගත්තෙ මගෙන්..ඔයාට ඕනමනම් තව එකම එක කවියක් ලියන්න මම අවසර දෙන්නම් හැබැයි ඒ මේ නිලුපුල් වලට ණය වුන ඔයා දකින ඇස් ගැන නෙමෙයි ඔයා වෙනුවෙන් අලුතින් කඳුලු වගුරන මගේ මේ ඇස් දෙක ගැන..මගේම ඇස් දෙක ගැන.. ..




"මේ අලුත් කඳුලු ඔබටමයි..ඔබෙ කවි වලට ගන්නට හැකි.."

Tuesday, January 17, 2012

මට නැති හිත


හිත වටකර
කොටු කරන්න
බැරි හින්දා මට
වාරු නැති මගේ හිත
උකසට දුන්නෙ ඔබට
නාහම අයිතිකරගනිද්දි
සින්නකරේට
කොහොමද කියල දෙන්නෙ
සන්තකේම එච්චරයි මට
මටම මම නැතිව
හූල්ලන මේ ජීවිතේට
ඇයි ඉතිං වද දෙන්නෙ
ආදරෙත් ඉල්ලල තව..

Tuesday, January 10, 2012

සිහිනය මිය යා යුතුය මේ ලෙසින්




නෙතු නලියන තද අලෝකය පහව ගොස් සතර දෙස වැසී ගිය ඝන අදුරේ මම ජීවිත යාත්‍රාව පැදෙව්වෙමි.. බැලු බැලු අත පෙනෙන්නේ මේ මහා ජල කඳ පමනි..මේ ජීවිත මුහුදේ මා බොහෝ සේ තනිවී ඇත.. අතරමන් වී ඇත..හසරක් නොදැන ඔහේ පාවෙන්නද තරු එලියෙන් මං සලකුනු විමසන්නද මට නිනව්වක් නොවුනි..ඈතින් යාන්තමට පෙනෙන සිහින් සහන් එලියකි.. එය ඔබේ නෙතු තරම් දීපතිමත්ය.. පැහැදිලිය..මා ඒ දෙස නොබැලුවා නොවේ..නමුදු මේ ජීවිත යාත්‍රාව ඒ සහන් එලියෙන් පැදවීමට මට කිසිදු දහිරියක් නැත..මා මේ යනෙන මග නැවත වරක් වරද්දා ගැනීමට මට ඇවැසි නොවීය.. මේ  අදිටන් කරගත් තීරනාත්මක ගමන මා යා යුතුමය..

නැවතත් මා මේ ජීවිත සයුර තුල ඔබේත් මගේත්  අතීතයේ  මොහොතකට තනිවීමි..ඒ අතීතයේ තනිවී ලතැවෙන්නට සුසුම් ලමින් ඉකිබිඳින්නට මට හැකිය..පාලුවෙන් වියරු වැටුනු මගේ තනි හිතට එයද සැනසුමකි.. ඔබේ හිත ලගට වඩාම සමීප වූයේ මාය..ඒ සහෝදරකමද මිතුරුකමද කියා මම නොදනිමි..නමුදු මා දන්නා ඔබ නො දන්නා එකම එක  බැඳීමක් විය..ඒ ඔබට මගේ පනටත් වඩා මම පෙම් කල බැව්ය...ඔබේ සිනාව දෙස බලා මම අනන්තවත් තුටු වීමි.. ඔබේ කඳුලු දෙස බලා මාද සිත යටින් වැලපීමි..තවත් විටෙක ඔය දොඩමලු දෑස් මත මා ගොලු වූ වාර අනන්ත වීය..නිහඬවම මා ඔය නෙතු සමග දොඩමලු වූ දවස් එමටය..නමුදු කිසිදා ඔබට මා වටහා ගැනීමට නොවුමනා විය..

තවත් වරක් මා එදෙස බැලීමි..ඒ එළිය සියුමැලිය..සැබෑවකි මා නෙතු විමසන්නේ එවන් සහන් එළියකි.. එහෙත් මා මගේ දෑස් මානයේ දිලෙන පහන් ටැඹ්න් පාර නොඅසා ඈත ආකහේ දිලෙන තරු එළියෙන් මග විමසාගෙන මේ ජීවිත යත්‍රාව පදවන්නට අදිටන් කරගෙන හමාරය. මගේ අරමුනට බාධක එමටය.. මේ අඳුර..මේ චන්ඩ සයුරු තෙර සේම උමතුවෙන් මෙන් මා ඔබට පෙම් කල ඒ යුගයද මගේ ගමනට බාධාවකි. එහෙත් විටක රළු වන විටක සියුමැලි වන මේ ජීවිත සයුර දිගේ ඈතින් පෙනන නුඹ දෙස බලා ආපසු නොහැරී මම මගේ ගමන යන්නට මගේ ආත්මයට දිවුරුම් දී අවසන්ය.

ඉඳින් මට ඇවැසි නොවූ ප්‍රේමය පසෙක දා ඔබ නමින් තව දුරටත් මිතුරුදම් පුරන්නට මට නොහැක.. එබැවින් මා සමු ගනිමි.. සදහටම ඔබෙන් සමුගෙන යමි..නැවතත් කිසි දින සිහිනෙකදු  ඔබ  හමුවීමට මම නොපතමි.. මේ ප්‍රේම සිහිනය ලියවුනු ඒ අතීතය  පොඩිකර සැඩ සයුරට විසිකර මගේ සිහිනය මෙතකින් හමාර කර ගනිමි..

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා..නෞකාවකි ඔබ ඈත සමුදුරේ..

Thursday, January 5, 2012

සොඳුරු නිශාන්තය..


සිහින් සඳ රැස් ගලන
තාරුකා වියන යට
පිනිතුහින මතින් පිබිද
හිනහුනා කඩුපුල් මල
....
ගලන සඳ රැස් මතින
බැස විත් සුරඟනන් හෙමීට
ගයමින් ගීතිකා තාලෙට
නටයි කඩුපුල් මල වෙලාගෙන
....
හමන මදනල එක්ක
දැනෙන සීතල සිසිලට
පිම්මේ දිවගොසින් මට
විඳින්නට ආසයි
 මේ අරුම රැය
....
ඉතින් කඩුපුල් මලේ නුඹ
හමමින් සුවඳ දස අත
ඇමතුවේ මටමද
නිහඬව විඳින්නට
 මටම විතරක්
මේ  සොඳුරු නිශාන්තය
....