මලානික සඳ එළිය විසිරුන
යහන මත රූ රටා මවමින
ප්‍රේම සිතුවිලි සෙමින් දිගහැර
සිත රිදෙන පවසින් විඩාවින
ලබැඳි සෙනෙහස් සිත දරාගෙන
නෙතු පියන් තද කොට පියාගෙන
රැහයි නාදෙට කන් යොමාගෙන
පැය ගනන් නිදි නැතුව ලතවින
නොලද සැනසුම තවත් දිගු විට
ඔබෙන් ඇයදූ නේක හැඟුමන
යහන පාමුල බිඳි විසිරී
එකින් එක කඳුලින් ගිලී යන
නේක සැප සම්පතක් නැතුවට
හිතට නුඹ ඇති තුටින් ඉන්නට
තනි වූ යහනෙ නුඹ පතා මට
නොදේ ඉවසුම් අඳුරු රැයකට
ඉරි තැලී හිත තැලී පොඩි වී
හෙටත් අලුයම උදාවනවිට
කඳුලු පිසදා සිනාසෙන්නම්
ලබනු රිසියෙන් ඔබේ උනුහුම
සතුට ඉහිරී වැටෙන තුරු මට
සුසුම් උනුසුම අරන් පපුවට
තබා ඔය රුව මගේ හිත යට
විඳිමි මේ දුක ඉතිරි දෙමසට