Pages

Friday, March 16, 2012

ඔබට කැපවූ සෙනෙහස


ජීවිතේ බොහෝ දුර ඇවිද
මම ඔබේ ආදරේ සොයා ගෙන
පන නළ පවා තබා උකසට
ඇයැදුවා ඔබේ ආදරය දෙවියන් ලඟ
උවැසියක් මෙන් දිනෙන් දින
පේ වුවා අදහමින් මම ඔබව
භාවනාවක් වගේ දිවා රැය
කමටහන් පිරුවා
ඔබ මගේ ආත්මය කොට
පපුව මතම තබාගෙන ඔබ
ඉහිලුවේ අහස උසට දුක් ගින්දර
ඔබ ලඟ පාත නැති දාට
ඇවිලුනා තුන් හිතම හරි රස්නෙට
හදවතේ ආදරේ පුරෝගෙන
ගනන් මිමි සෙව්වා හැම රැයක
නැති වුනොත් දවසක ඉතිං ඔබ මට
පියාගමි නෙත් දෙක
මේ සීතල පොළොව යට..

Wednesday, March 14, 2012

සමු දුන් පෙම්වතිය..


එකෝමත් එක දවසක
ඔයාගෙ නිල් පාට ඇස් දෙක
කාටත් හොරා මට රහසක් කිව්වා
ඒ රහස පරිස්සමට හිත කොනක තියාගෙන
නොදන්න ගානට
මම ඔයාට ගොඩාරියක් රිදෙව්ව
ඒ ආදරේ නැති කමට නෙමෙයි
ආදරේ වැඩිකමට
ඔය හිනාවෙන ඇස් දිහා
කාටත් හොරෙන් මම
පැය ගනන් බලන් හිටියා
හිතට දැනුනෙ පුදුමාකාර ලෝබකමක්
මම දස දහස් වර හිතුවා
අනේ ..
ඔයා මගේ වෙනවනම් කියල
ආත්ම ගානක බැඳීමක් 
එදා ඔය ඇස් වල ලියවිලා තිබුන
ඔව් මම කියෙව්ව
ඔය ඇස් දෙකේ ලියල තිබුන හැම දෙයක්ම
හරිම පරිස්සමට මම කියෙව්වා
ඔයා වගේම මමත් දැනන් උන්න
අපේ හිත් අයිති අපිටමයි කියල
සත්තයිමේ හිරිමල් හිත
නැලවුනේ ඔයාගෙ ඔය තරු ඇස් දෙක ලඟ
දාල යන්න බැරි තරමට
මම මටම ආදරේ කරන්න ගත්තෙ
ඔය ඇස් දෙකෙන් කඩා වැටෙන ඒ ආදරේ නිසා
ඒත් රත්තරං මම දැනන් උන්න
මට මේ ලෝකෙට අයිතිවාසිකම් කියන්න
දැන් කාලයක් නැති තරම් වග
කොහොමද මම කියන්නෙ
ඔයා මට ආදරේ කරන්න ගත්තු දවසෙ ඉඳල
ඔයා මට ආදරේ කරපු තරමටම
ඊටත් වැඩියෙන්
මරණය මම ලුහුබඳින වග
මගේ හිත ගොඩාරියක් අසරණයි
මටවත් මම හිමි නැතිව
කොහොමද මම ඔයාට හිමිවෙන්නෙ
මටවත් නැති මගේ  ජීවිතේ
කොහොමද මම ඔයාට දෙන්නෙ
රෑ දිවා නැතිව මම ලතැවුනා
ඒකයි මේ හිතුවක්කරකම..
මම තවත් ගොඩාරියක් රිදවලා
ඔයාට නොකියම ගොඩාක් දුර ගියා
කැමැත්තෙන් නොවුනත්
අකමැත්තෙන් වුනත් යන්න වුනා
ඒත්..
අදටත් රෑට අහස කොනක
පුන්චි තරු කැටයක් වෙලා
මම ඔය ඇස් දෙක කියවන්නෙ
ඔයා පිච්චෙන ගින්දර මට තාමත් දැනෙන නිසා
අනේ මට පුලුවන් වුනානම්
එකම එක පාරක් ඔයා ලඟට ඇවිත්
කියාගන්න බැරි වුන ආදරේ කියන්න
ඔය පපුව බදාගෙන අඬන්න..
වෙනද වගේ ඔයාට හොරෙන් 
ඔය ඇස් දෙක කියවන්න..
කොච්චර මම වාසනාවන්තද?

ප/ලි:මේක ලියන්න විශේශ හේතුවක් නම් නැහැ.. පින්තූරය නිසා ලියන්න හිතුනෙ..

Sunday, March 11, 2012

හීන දැකපු හිත..



එක දවසක් හැන්දෑවක
සඳුත් එක්ක එකතු වෙලා
හරි හරියට එළිය දෙන්න
හීන දැක්කා..

ඒත් ඒ හැන්දෑව කවදාවත් ආවෙ නෑ..
හීන දැකපු මගේ හිත කළුවර වුනා..

තව දවසක් හිමිදිරියක
හිරුත් එක්ක හරි හරියට
මලින් මලට පාට දෙන්න
හීන දැක්කා..

ඒත් ඒ හිමිදිරිය කවදාවත් අවෙ නෑ..
හිතේ තිබුන හැම පාටම දියවෙලා ගියා..

තව දවසක මද්දහනක
වලාකුලක සැඟවීගෙන
හරි හරියට සිසිල දෙන්න
හීන දැක්ක..

ඒත් ඒ දහවල කවදාවත් හමු වුනේ නෑ..
හීන දැකපු මගේ හිතම  පිච්චිල ගියා..

හැම දිනකම ඔයත් එක්ක
හරි හරියට හිනා වෙලා 
 ආදර හිත ඔයා ලඟඳි දිග හරින්න
හීන දැක්ක..

ඒත් ඔයා තාමත් නෑ..
හීන දැකපු මගේ හිතම පාලු වෙලා..



ප/ලි: බ්ලොග් එකට එන්නෙ නෑ කියලා යන්න හැදුවට යන්න හිතෙන්නෙ නෑ..දැන් දින චර්යාවෙ කොටසක් වෙලා බ්ලොග් ලියන එකයි බ්ලොග් කියවන එකයි..මගේ යාලුවො හැමෝටම ස්තූතියි...කමෙන්ට් නොකලට සුපුරුදු ලෙසම හැමෝගෙම ලිපි කියවල ඇති..ආයෙත් මම ලියනව..මගේ බ්ලොග් එක..ඔයාල ගොඩක් දෙනා කිව්ව වගේ පාලුවක් දුකක් දැනුන හැම මොහොතකටම ඇත්තටම අපේම පරන ලිපියක් හරි අපේ යාලුවෙකුගෙ බ්ලොග් එකක් හරි කියවද්දි ටිකකට හරි හැම දේම අමතක වෙනවා..හිතට සහනයක් දැනෙනව..  :-))

Monday, February 27, 2012

නුඹත් මමත්



හිතේ කොතනක පිපුනිදෝ නුඹ
මම නොදන්නා ඉසව්වේ..
ඇවිත් ඉඳ හිට හිත පුරාවෙම
සුවඳ දැනුනා සීරුවේ..

නමක් නැති ලෙන්ගතුකමක් ගෙන
මියුරු හැඟුමන් පිබිදුවේ..
අකීකරු හීනෙකින් දුටු නුඹ
මගේ පෙම් හිත හැඩ කලේ..

නුහුරු පාටක් සොයන්නට මා
රෑ දිවා කල් වෙහෙසුවේ..
පාට තැවරූ සුවඳ මල් ගෙන
නුඹ මගේ හිත සැරසුවේ..

මා හදේ ඇඳි පුරුදු සිතුවම
නුඹමදැයි සිත විමසුවේ..
වෙන කෙනෙක් නොව නුඹමයි ඒ
යලි යලිත් සිත පැවසුවේ..

හීන පොදි බැඳි මගේ මුලු හිත
ඉතින් නුඹගෙයි මතු දිනේ..
එකින් එක ගෙන හෙමින් කියවා
තනා දෙනවද ජීවිතේ..

Friday, February 24, 2012

නිදි නැති රැය



මලානික සඳ එළිය විසිරුන
යහන මත රූ රටා මවමින
ප්‍රේම සිතුවිලි සෙමින් දිගහැර
සිත රිදෙන පවසින් විඩාවින

ලබැඳි සෙනෙහස් සිත දරාගෙන
නෙතු පියන් තද කොට පියාගෙන
රැහයි නාදෙට කන් යොමාගෙන
පැය ගනන් නිදි නැතුව ලතවින

නොලද සැනසුම තවත් දිගු විට
ඔබෙන් ඇයදූ නේක හැඟුමන
යහන පාමුල බිඳි විසිරී
එකින් එක කඳුලින් ගිලී යන

නේක සැප සම්පතක් නැතුවට
හිතට නුඹ ඇති තුටින් ඉන්නට
තනි වූ යහනෙ නුඹ පතා මට
නොදේ ඉවසුම් අඳුරු රැයකට

ඉරි තැලී හිත තැලී පොඩි වී
හෙටත් අලුයම උදාවනවිට
කඳුලු පිසදා සිනාසෙන්නම්
ලබනු රිසියෙන් ඔබේ උනුහු

සතුට ඉහිරී වැටෙන තුරු මට
සුසුම් උනුසුම අරන් පපුවට
තබා ඔය රුව මගේ හිත යට
විඳිමි මේ දුක ඉතිරි දෙමසට

Sunday, February 19, 2012

මට ආසයි !


ඉස්තරම්ම ආදරයක්
ඔබ දෝතට අරන් ඇවිත්
ආසයි මට රැඳී ඉන්න
නෙතු අතරේ ටික මොහොතක්..

පරිස්සමට මම ඇවිදින්
තුරුලු කරන් ආදරයෙන්
මට ආසයි 
කියා දෙන්න
හිත නිවනා පෙම් කවියක්..
ලස්සන නිල් ඇස් දෙකකින්
සලනා මුදු හැඟුම් බැලුම්
නොතේරුනා වගේ ඉදන්
ආසයි රිදවන්න ටිකක්..
මල් පෙති ඇතිරූ මෙලෙකට
ඔය දෙතොලේ පහස සොයන්
මට ආසයි සිප ගන්නට
පරිස්සමඑක මොහොතක්..
විකසිත පෙම් පොකුරු අරන්
ආදරෙයෙ සුවඳ ඔබන්
මට ආසයි ඒ මල් වල
ලියන්න ආදරෙ තරමක්..

Tuesday, February 7, 2012

සෙනෙහසේ පොරොන්දුව !


හිත ආලකම් පාන කිරි කෝඩු ආදරේ
හද ගැහෙන තාලයට වැයෙන විට ජීවීතේ
රෑ දිවා මතුවෙනා මදහාස සිහිනයේ
ලියවේවි කවි සඳැස් මේ ප්‍රථම ප්‍රේමයේ..

දිනපොතේ පිටු පුරා සැමරේවි ආදරේ
සඳ තරුත් සුපතාවි හිනහෙන්න ජීවිතේ
කුමුදු මල් සුවඳකින් දැවටිලා මදනලේ
රැඳෙමි රැකගමි සදා මහමෙරක් ආදරේ..

ඔබේ උණුහුම දිගේ සොයාවිත් ජීවිතේ
තැනූයෙමි මේ භවෙත් නවාතැන ඔය හදේ
සදාකල් රැකගන්න පුද දුන්නු ආදරේ
ලියුවෙමී රුහිරයෙන් පොරොන්දුව සෙනෙහසේ..