Pages

Wednesday, April 11, 2012

සුභ නව වසරක් වේවා..



ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට බත බුලතින් සරු කිරියෙන් පැණියෙන් ඉතිරෙන අසිරිමත් සුභම සුභ  නව වසරක් වේවා..!!!

Thursday, April 5, 2012

නුඹ හින්දා මං..



මහ හුඟක් සිතුවිලි
ඔය ආලවන්ත ඇස් ලඟ
දියවෙලා යද්දි
ඔබ ඇවිත් මේ හිතේ තැනක
කඳවුරු බැදගන්න ඇති..
එදා පටන්
රෑ අඳුරට ගැස්සෙන හිත
මල් පොහොට්ටු මෝරන හිමිදිරියෙ
හීතලෙන් ගල් ගැහෙනකල්
නුඹ ගැනම හිත හිත
නිදි වරන්නත් ඇති..
ඒ කාලෙදි
කිඳුරු කතාවෙ නැතිවූ කිඳුරව
හඬමින් සොයන කිඳුරිය වගේ
වරින් වර හිමි අහිමි වුනු
ඔබව මම
සොයන්නත් ඇති..
දැනටත්
සිරවෙවී පොඩි වෙවී හරි
අනේ නුඹ හින්ද
කඳුලු බිව්ව ඇස්
මේ ආත්මෙ ඔබ ලඟම
සැනසෙන්නත් ඇති..

Sunday, April 1, 2012

හෙට හිරු පායෙන්නෙ ඔබේ රැස් එලියෙන්..



හදවතේ හරි මැද
ඔය ආදරය සලකුණු කරගෙන
මග බලන් හිටියා මම
බොහෝ කල්
ඔබ එනතුරු
යලි මා සොයාගෙන..

දිගැටි නෙතු අයිනක
කැටි වී දිලිසුනු කඳුලු බිංදුව
වැටී කම්මුල් දිගේ රූරාගෙන
බදා ගත්තා
ඔබ හාදු දුන්
මේ රෝස කම්මුල..

සිරකොට සුරතින් අල්ලාගෙන
ආ ජීවිත මගක කෙලවර
පාලු වී තනිකම දැනෙන විට
හිත දිව ගියා යලි යලිත්
නතර වන්නට
කඳුලු ඉවුරක..

මට හිමි නොවී වරින් වර
මගෙන් ඈතට උදුරගෙන යන
සැනසීම සොයා
නිතරම
ලත වුනා මම
දෛවයට දොස් පවරගෙන..

***

හඬ හඬා තැවෙමින් හරි
සොයාගත් ඒ ආදරේ අතැතිව
මග බලන් හිටි දවස අරගෙන
එනවලු ඔයා අද හෙටම
මගේ ඇස් දෙක ලඟට

හෙට හිරු පායෙන්නෙ එතකොට
ඔබේ රැස් එලියෙන් මගේ මිදුලට
ඉතිං රත්තරං කොච්චර වැලපුනත් මම
තව පැය කීයද වියලෙන්නට
මේ ඔක්කොම කඳුලු කැට


***



Thursday, March 29, 2012

ළා සඳ එලියේ...



නා මල් පෙති මත ලා නිල් පාට සඳ එලිය තැවරිලා..මල් පෙති වල සුවඳ සඳ එලිය දිගේ ඔයත් මමත් තනිවුන මේ පුංචි කුටිය වටේ පාවෙනවා.. කවුලුව දිගේ අනවසරයෙන්ම ඇතුලු වුනු නිල් සඳ එලියට ඔයාගෙ වටකුරු ඇස් දෙක දිලිසෙනවා.. හරියට ඒ සුන්දර සඳ එලිය නාමල් සුවඳ  එක්ක එක්කහුවෙලා අපි දෙන්නට ඔච්චම් කරනව වගේ..

දිග හුස්මක් අරන් මම උත්සහ කලේ ආයෙත් ඒ සුවඳ ආත්මයටම විඳගන්න..ඒත් ඒ නාමල් සුවද වෙලා මට දැනුනෙ ඔයාගෙ සුවඳ..මගේ සිරුරෙ ගෑවි නොගෑවි අකීකරු ඇස් අගින්මා දිහා බලන් උන්නූ ඔයාගෙ ආත්මීය සුවඳ..ලා එළියෙන්  ඔයාට නොපෙනුනත් ඔයාගෙ ඇස් දෙකේ තිබුන කාන්සියට මගේ මුළු මුහුනම රතු වෙන්න ඇති..

මම මොහොතක් ඔය ඇස් දිහා බලන් උන්නා..මට දැනෙන්නෙ පුදුමාකාර සංතෝසයක්..ආත්ම ගානක බැඳීමක් නැවතත් රන් හුයකින් බැඳිලා මේ ආත්මෙත් මගේම වෙලා කියල මට දැනුනා..මගේ හද දෙවොලෙ මෙච්චර කල් හිස් වෙලා තිබුනු පූජාසනයට සුබ මොහොතින් වැඩිය දේවතාව ඔයා වෙලා...අද ඉදන්.. මේ මොහොතේ ඉදන් ..හමුවන හැම මොහොතකම ගෙවන හැම තත්පරයකම මගේ හිත ලඟ ඉන්නෙ ඔයා..මට ආදරේ කරන්න මාව රැක බලා ගන්න මට මේ ජීවිතේ කියල දෙන්න හරියටම කිව්වොත් මගේ සැප දුක බෙදාගන්න ඉන්න මගේ අම්මයි අප්පච්චියි ඔයා..මට ඇස් දෙක පියාගෙන වුනත් මගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම පැතුමක්ම ඔයාගෙ දෙපාමුල ගෙනත් තියන්න තරම් විශ්වාසවන්ත රත්තරං හිතක් දැන් මගේම වෙලා..

ඉතිං දැන් දැන් මේ රාත්‍රියට ඔයාටයි මටයි පමනක් ඉඩ දීල තරු එළි පවා සැඟවිලා ගිහින්..නා පෙති සිප ගත්තු නිල් සඳ මඩලත් මල් යහනෙ සැතපෙන්න සූදානම් වෙලා. ඉඳිකටු තුඩක් වැටුනත් ඇසෙන නෑසෙන තරමටම මුලු පරිසරයම සුව නින්දට ගිහිල්ලා..මුලු වටපිටාවම ඒ තරම් නිසංසල වෙලා තිබුනත් වෙන කවරදාටත් වඩා මගේ හිත හොඳටම නොසන්සුන් වෙලා.. මෙතුවක් කල් දඟ පාපු පුංචි කෙල්ල අද ඔබේ පතිනිය වෙලා ඔබේ හිත අද්දර ජීවිතේ අයදිනවා.... ඉතිං මේ සීතල සුමුදු රාත්‍රිය සීරුවට විඳගන්න හිතාගෙන ජීවිතේ ප්‍රථම වතාවට ඔයාගෙ දෙපා මත හිස රඳවගෙන මම දෑස් පියාගත්තා.. හ්ම්ම්  හිතට දැනුනෙ නිමක් නැති සැනසීමක්..


ළා සඳ එලියේ...
නා පෙති හැලිලා...
නාමල් සුවඳයි විහිදෙන්නේ...
මා දිවි රැය සුවඳින් මල් පුබුදා...
සඳ දිය ඉල්ලයි හිමි සඳුනේ...

මවත් ඔබයි මගේ පියත් ඔබයි මගේ
පිළිසරණත් ඔබමය වන්නේ...
අද සිට මගෙ ඉටු දෙවියන් ඔබවේ...
ඔබගෙනි සැප දුක විමසන්නේ...

ළා සඳ එලියේ...

නා පෙති සිඹලා තරු එළි නිවලා
සඳවත සැතපෙයි මල් යහනේ..
ඔබේ දෙපා මත හිස රඳවන්නම්
පළමු වතාවට හිමි සඳුනේ..

 
ගායනය: නිරංජලා සරෝජිනි



 

Sunday, March 25, 2012

මම..



පද වැලක් සොයමි මම
නොලියවූ කවියකට
එලි වැටක් නැති වුනත්
තේරුමක් වී ගැයෙන
..
සිතුවමක් අඳිමි මම
නිම නොවූ සිතුවමට
වර්නයක් නැති වුනත්
නිමාවක් වී පේන
..
ගීතයක් ගයමි මම
තනුවකට පද බැඳන
තාලයක් නැති වුනත්
පාලුවක් නොම  ගේන
..
ආලයක් සොයමි මම
හිතට හිත යා කරන
තනිකමක් නැති වුනත්
හිතට සැනසුම ගේන
..
සිහිනයක් දකිමි මම
සිතේ සිර කරන් සිටි
සොම්නසක් නැති වුනත්
දොම්නසක් නොම ගේන
..
කාලයක් සොයමි මම
පතා ඔබ වෙත එන්න
ලඟදීම නැති වුනත්
කවදාක හෝ මේම
..
සැනසුමක් සොයමි මම
මෙතෙක් මා නොලත් විඳි
කවදාක හෝ ලැබෙන
අදත් නොලැබෙයි සිතෙන
....

Sunday, March 18, 2012

ඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේ..


හරිම හැඩට ඔයා අදත් මගේ නෙත් මානයේ පිපිලා..ඒත් ඔය හිනීයට හිනාවෙන ඇස් දෙක දැක්කම මගේ හිත මහ හුඟාක් කලබල වෙලා ..

අනේ.. කොයි තරම් නම් මම ඔයාට ආදරේ කරනවද..මේ බලන්න මගේ හිත.. හතර වටේටම ලස්සනට මල් පිපිලා.. පුංචි පුංචි සමන්නලු, සීතල සුළං, සුදු පාට පිනි බිංදු වගේම අකීකරු මල් සුවඳත් වෑයම් කරන්නෙ ඔයා මගේ ලඟ ඉන්න මේ සොඳුරු මොහොත තව තවත් සුන්දර කරන්න...මේ බලන්න මගේ හිත පුරා  පිපුනු ලස්සනම මලි කිනිති මම නෙලාගෙන ආවෙ ඔයාට.. එක පාරක් මේ සුවඳ බලන්න..මේ මල් වල හමන්නෙ මගේ හිතේ සුවඳ..ඔයා තාමත් නොදන්න නොවින්ඳ මගේ හිත පුරා පිපුනු ආදරේ සුවඳ..

දන්නවද හැමදාම මම දෙනෙත් පියාගෙන එකම එක හීනයක් දකිනවා..ඒ හීනය පුරා හරිම බරට අඩි තියමින් පපුව පුරා ඔයා සැරිසරනවා.. ඉතිං මම හෙලන හැම හුස්මක් හුස්මක්  ගානෙම මම හිතේ සංයමයෙන්....ඒ පපුව පුරා සක්මන් කරන ඔයා වෙනුවෙන්.. මේ සිහිනය පුරා පාට තවරල කැටයම් ඇන්ද ඔයා කොහොමද මම මගේ පපුවෙ තිගැස්මෙන් නවත්තන්නෙ.. බැහැ මට කොහොමටවත් බැහැ..

ඔයා දන්නවද මෙච්චර කල් මගේ හිත කලුවර වැටුනු  අහසක් වගේ තිබුනෙ.. එකම තරුවක්වත් නැති මගේ මේ හිත් අහස පුරාවටම අද හරිම හැඩට දිලෙන තාරුකාවක් වගේ ඔයා තමයි පායලා ආවෙ.. දැනෙනවා.. හෙමීට මගේ දෙසවන් ලඟ ඔයා මොන මොනවදෝ මුමුනවා.. ඒ මොනාද මට හාන්කවිසියක් නැහැ..ඒත් මුමුනන වදන් වලින් හිත තිගැස්සෙනවා.. පුදුමයි මට හරිම අපූරුවට ඔයාව දැනෙන්න පටන් අරන්..ඔයාගෙ දිග අත් මගේ බඳ වටා හෙමීට එතිලා..ඔය දිගටි ඇඟිලි තුඩු මගේ හිස පුරා එහෙ මෙහෙ දුවවනවා.. මගේ මුව උඩින් පාත් වෙලා ඉන්න ඔයාගේ ඔය සුවඳ මට හොඳට දැනෙනවා.. ඔව් අද ඔයා මගේ ලඟ..මගේ ජීවිතේ ලඟ.. 

මට පුදුමාකාර සතුටක් දැනෙනවා..මගේ ජීවිතේ ලස්සනම හීනයක හැමතැනම ඔයා පිපිලා.. හිත සැලෙනවා..වේගයෙන් මගේ හද ගැස්ම වැඩි වෙනවා..අනේ මට ලෝබයි මේ මොහෙතෙන් මිදෙන්න..සත්තයි මේ සොඳුරු සිහිනයෙන් කවමදාවත් මට මිදෙන්න බැරි වෙයි.. දැන් මගේ ජීවිතේ මම පතන සොඳුරුම සිහිනය ඔයා වෙලා.. ඔයා මගේ මේ සිහිනයේ හැමදාම පායලා ආවත් නාවත් මගේ හිත රැවටෙන මේ සිහිනෙට ඉතිං මම දැන් ආදරේම ආදරෙයි..

ඔබ පිපුනා මගෙ නෙත් රිදෙන මානයේ..
ඔබ සැලුනා මගෙ සුසුම් වැල් ගානෙ..
ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ..
ඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේ..
ප/ලි:මේ තමයි කසුන් කල්හාර ගෙ ඔබ පිපුනා ගීතය මගේ හිතට දැනෙන හැටි..මම ආසම කරන ලස්සනම ගීතයක්..  :)

Friday, March 16, 2012

ඔබට කැපවූ සෙනෙහස


ජීවිතේ බොහෝ දුර ඇවිද
මම ඔබේ ආදරේ සොයා ගෙන
පන නළ පවා තබා උකසට
ඇයැදුවා ඔබේ ආදරය දෙවියන් ලඟ
උවැසියක් මෙන් දිනෙන් දින
පේ වුවා අදහමින් මම ඔබව
භාවනාවක් වගේ දිවා රැය
කමටහන් පිරුවා
ඔබ මගේ ආත්මය කොට
පපුව මතම තබාගෙන ඔබ
ඉහිලුවේ අහස උසට දුක් ගින්දර
ඔබ ලඟ පාත නැති දාට
ඇවිලුනා තුන් හිතම හරි රස්නෙට
හදවතේ ආදරේ පුරෝගෙන
ගනන් මිමි සෙව්වා හැම රැයක
නැති වුනොත් දවසක ඉතිං ඔබ මට
පියාගමි නෙත් දෙක
මේ සීතල පොළොව යට..